Tuesday, December 6, 2011


Deepak Liyanage සහෝදරයා විසින් ඉදිරිපත් කරයි.....

මාර්ක්ස්වාදය -01
1841 දී කාල් මාර්ක්ස් තමන්ගේ දර්ශන උපාධියට නිබන්ධනයක් ලිව්වා ඩිමොක්‍රීටස් සහ එපිකියුරස් ගැන. වෙනත් වචන වලින් කියනවා නම් පුරාතන යුගයේ ලෝකායතවාදය ගැන. මාර්ක්ස් තිහාසික ලෝකායත වාදියෙක් කියා හැදින්වෙන කෙනෙක් බවටයි පත්වුණේ. ලෝකායතවාදය කියන්නේ ද්‍රව්‍යවාදයටම තවත් වචනයක්. ද්‍රව්‍යවාදය මගින් විස්තර කරනු ලබන්නේ ලෝකයේ පවතින්නේ ද්‍රව්‍ය පමණක් බවත් විඥාණය යනු ද්‍රව්‍ය වල අන්තර් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් බවත්ය. මාර්ක්ස් හේගල්ගේ දර්ශනය තමන්ගේ ආරම්භක ස්ථානය හැටියට ගත්තා. මාර්ක්ස් හේගල්ගේ ලෝක පංචඉන්ද්‍රීය වාදය හෙවත් ඔහුගේ විඥානවාදය ප්‍රතික්ෂේප කළා. විඥානවාදී දාර්ශනික චින්තන ක්‍රම හෙගල්ගෙන් ඉවර වුනා. ඔහුට පස්සේ දර්ශනය අලුත් මාවතකට පිවිසුනා. ශ්‍රේෂ් කාල්පනික ක්‍රම වෙනුවට අපට ලැබුනේ සාන්දෘෂ්ටික දර්ශනවාද හෝ ක්‍රියාත්මක දර්ශනවාද.
මේ දක්වා දර්ශනවාදීන් කළේ ලෝකය විවිධ ක්‍රම වලට අර්ථ කථනය කිරීමයි. දැන් අවශ්‍ය වෙන්නේ එය වෙනස් කිරීමයි කියා කාල් මාර්ක්ස් ප්‍රකාශ කළා. මේ වචන ටික දර්ශන වාදය පිලිබඳ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරනවා.
මාර්ක්ස්ගේ චින්තනයේ තිබුනා ප්‍රයෝගික හා දේශපාලන අරමුණක්. ඔහු දාර්ශනිකයෙක් විතරක් නොවෙයි, ඉත්හාසඥයෙක්, සමාජ විද්‍යාඥයෙක් හා ආර්ථික විද්‍යාඥයෙක්. ඇත්තෙන්ම ප්‍රායෝගික දේශපාලනයට මීට වඩා ඉහල වැදගත් කමක් වෙන කිසිම දාර්ශනිකයෙකුට ලැබෙන්නේ නැහැ.

මාර්ක්ස්වාදය-2
මුල ඉඳලාම මාර්ක්ස්ගේ යහළුවා සහ සහකරු වන ෆෙඩ්රික් එංගල්ස් පසු කාලයකදී මාර්ක්ස්වාදය යනුවෙන් හැඳින්වුණු දර්ශනයට දායක වුනා. අපේ ශතවර්ෂ වලදී ලෙනින්, ස්ටාලින්, මාඕ, සහ තවත් බොහෝ දෙනෙක් මාර්ක්ස්වාදයට හෝ මාර්කස්-ලෙනින් වාදයට දායකත්වය දුන්නා. පුරාතන යුගයේ පරමානුවාදීන් වගේ ඔහු දාර්ශනික ද්‍රව්‍යවාදියෙක් නොවෙයි. ඔහු දාහත්වෙනි දහටවෙනි ශත වර්ෂවල තිබුණු යාන්ත්‍රික ද්‍රව්‍යවාදයට පක්ෂ වුනේ නැහැ, ඒත් ඔහු හිතුවා, අප හිතන විධිය ඉතා විශාල වශයෙන් තීරණය කරන්නේ ද්‍රව්‍යමය සාධකයි කියලා. ඓතිහාසික සංවර්ධනය අනිවාර්යෙන්ම තීරණය කරන්න එවැනි ද්‍රව්‍යමය සාධක හේතු වුනා. ඒක හේගල්ගේ ලෝක ප්‍රනේන්ද්රියට වඩා හුඟක් වෙනස්. හේගල් පෙන්වාදී තිබුනා, ඓතිහාසික සංවර්ධනය හටගත්තේ ප්‍රති විරුද්ධතා අතර ඇතිවන ආතතිය නිසා බව. එම ආතතිය හදිසි වෙනස් වීමක් නිසා සංසිඳෙනවා. මාර්ක්ස් මේ අදහස තව දුරට ගෙනගියා. ඒත් මාර්ක්ස් කියන හැටියට හේගල් ඔලුවෙන් හිටගෙන ඉඳල තියෙන්නේ. හැබැයි හැමතිස්සෙම නොවෙයි. ඉතිහාසය ඉදිරියට ගෙනයන බලයට හේගල් කිව්වා ලෝක ප්‍රනේන්ද්‍රිය හෝ ලෝක විචාර ශක්තිය කියලා. මාර්ක්ස් කිව්වා මේක උඩු යටිකුරු වීමක් කියලා. ඉතිහාසයට බලපාන්නේ ද්‍රව්‍යන් වෙනස්වීම කියලා මාර්ක්ස් ප්‍රකාශ කළා.
අද්‍යාත්මික සම්බන්ධතා ද්‍රව්‍යමය වෙනස් වීම් ඇති කරන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ එකේ අනික් පැත්තයි. ද්‍රව්‍යමය වෙනස් වීම් තමයි අලුත් අද්‍යාත්මික සම්බන්ධතා නිර්මාණය කරන්නේ. මාර්ක්ස් විශේෂයෙන්ම අවධාරණය කළා වෙනස්වීම් හටගන්වලා ඉතිහාසය ඉදිරියට ගෙනියන්නේ සමාජයේ තියෙන ආර්ථික බලවේග කියලා.

මාර්ක්ස්වාදය -3
පුරාතන යුගයේ දර්ශනය සහ විද්‍යාව තනිකරම න්‍යායාත්මකයි. එම අලුත් සොයාගැනීම් ක්‍රියාවට නැංවීමට කිසිම කෙනෙක් විශේෂයෙන් උනන්දු උනේ නැහැ. ඒකට හේතුව සමාජයේ ආර්ථික ජීවිතය හැඩගැසී තිබුන ආකාරයයි. නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් පදනම් උනේ වහල් ක්‍රමය මතයි. ඒ නිසා ප්‍රයෝගික නිර්මාණ ඇසුරෙන් නිෂ්පාදනය වැඩිකරන්න පුරවැසියන්ට අවස්‍යතාවයක් තිබුනේ නැහැ. ද්‍රව්‍යමය සම්බන්ධතා සමාජයේ දාර්ශනික චින්තාවලියට දක්වන එක. උදාහරණයක් තමා ඒ. මේ ද්‍රව්‍යමය, ආර්ථික හා සාමාජික සම්බන්ධතා වලට මාර්කස් හැදින්වුයේ සමාජයේ පදනම කියලා. සමාජය හිතන හැටි, එහි පවතින දේශපාලනික ආයතන, එහි පවතින නීති, ආගමේ ස්වභාවය, සදාචාර නීති කලාව, දර්ශනය හා විද්‍යාව ආදී මේ සියල්ලටම මාර්කස් කිව්වේ සමාජයේ උපරිවිවූහය කියලා. අපි අලංකාර ගෘහනිර්මාණ ශිල්පයකට අනුව නිපයු ගොඩනැගිල්ලක් ගනිමු. ඒ නිර්මාණයේ තියෙනවා ඉතාම සුන්දර අලංකාර වහලක්. මේ වහල තමයි සමහරවිට කෙනෙකුගේ හිත එකපාරටම ඇදලගන්නේ. මේකට තමයි අපි උපරි විවුහය කියන්නේ. ඒ උනාට වහළ අහසේ පාවී පාවී තියන්න පුළුවන් කමක් නැහැ. ඒකට ආධාරක වෙනවා කුළුණු. මේ ගොඩනැගිල්ලට තියෙනවා පදනම් අත්තිවාරමක්. මේ සම්පුර්ණ නිර්මාණයටම ආධාරක වශයෙන්. ඒ විධියට මාර්කස් විස්වාස කළා සමාජයේ චින්තන, අදහස් ආදී සියල්ලටම භෞතික සම්බන්ධතා පිහිට වනබව. සමාජයේ උපරිවිවූහය ඇත්තටම ඒ සමාජයේ පදනම් පිළිඹිඹු කරනවා. මර්ක්ස්ගේ මෙම පැහැදිලි කිරීමට අනුව සමාජයේ පදනම එහි උපරිවිවූහය වෙත දක්වන අන්තර්ක්‍රියා බලපෑමයි. මාර්කස් මෙම අන්තර්ක්‍රියාකාරීත්වය ප්‍රතික්ෂේප කළා නම් ඔහු යාන්ත්‍රික ද්‍රව්‍යවාදියෙක් වෙනවා. එහෙත් පදනම සහ උපරිවිවූහය අතර අන්තර්ක්‍රියාකාරී හෝ අපෝහකවාදී සම්බන්ධයක් තිබෙන බව මාර්ක්ස් වටහා ගත් නිසා අපි ඔහු අපෝහක ද්‍රව්‍ය වාදියෙක් වශයෙන් හඳුන්වනවා.

මාර්ක්ස්වාදය -4
අර අප මුලින් කියපු ගොඩනැගිල්ලේ පදනම ගැන මාර්කස් ගේ විග්‍රහය තවත් විස්තර කරන කොට ගොඩනැගිල්ලේ කුළුණු පිහිටලා තියන්නේ අත්තිවාරමක් එහෙමත් නැත්නම් පදනමක් උඩ. ක මට්ටම් තුනකින් යුක්තයි. ඒ විධියට සමාජයේ පදනමේත් මට්ටම් තුනක් තියෙනවා. ඉතාමත්ම යටම මට්ටම තමයි සමාජයේ නිෂ්පාදනතත්වයන් කියලා අපි කියන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් සමාජයට ලැබී ඇති ස්වාභාවික සම්පත්. ඕනෑම සමාජයක මුල් පදනම මේවායි. සමාජයේ වර්ගය පැහැදිලිව තීරණය කරන්නේ මෙයයි. ඒ ආකාරයෙන්ම ඒ සමාජයේ ස්වභාවය හා එහි සංස්කෘතිය සාමාන්‍ය වශයෙන් තීරණය කරන්නේ එයයි.
සහරා කාන්තාරයේ මාළු වියාපාරයක් කරන්නත් බැහැ. අයිස්ලන්තේ රටඉඳි වවන්නත් බැහැ. මොන්ගෝලියාවේ සංචාරක එඩෙරන් සිතන විධියයි දෙවුන්දර ධීවරයන් හිතන විධියයි හුඟක්ම වෙනස්.
ඊළඟ මට්ටම තමයි සමාජයේ නිෂ්පාදන මාර්ග. මෙයින් මාර්ක්ස් අදහස් කලේ සමාජවල විවිධාකාර උපකරණ මෙවලම් යන්ත්‍ර හා අමුද්‍රව්‍යයි. ඉස්සර කාලේ මාළු කෙත් ඇති ප්‍රදෙසට ගියේ හබල් වලින්. දැන් මෝටර් බෝට්ටු වල සිට ට්රෝලර් දක්වා යොදා ගන්නවා.

දැන් අපි කතාකරන්නේ සමාජයේ ඊළඟ පදනම ගැන.
එක තමයි නිෂ්පාදන මාර්ග අයිති අය. ශ්‍රම විභජනය හෙවත් වැඩ කිරීම හා අයිතිය යන බෙදීම මාර්ක්ස් හැඳින්වුයේ නිෂ්පාදන සම්බන්දතා කියලා. යම් සමාජයක පවතින දේශපාලන හා න්‍යායාත්මක තත්වයන් තීරණය කරන්නේ සමාජයේ ඇති නිෂ්පාදන ක්‍රමයයි කියලා දැන් අපට නිගමනය කරන්න පුළුවන්. අද අපි පුරාන වැඩවසම් සමාජයට වඩා තරමක් හරි වෙනස් විධියට හිතන්නේ තරමක් වෙනස් සදාචාර නීති සංග්රනහ ක්‍රියාත්මකව නොතිබුනත් තියෙන්නේ නිකම්ම අකාස්මිකව නොවෙයි.

මාර්ක්ස්වාදය -5
මාර්ක්ස් විස්වාස කලේ නැහැ සදහටම සත්‍ය වූ ස්වාභාවික හරි වැරදි ගැන. අපෝහකයට අනුව ලෝකය වටහාගත හැක. එහෙත් ප්‍රකෘතිය අනන්ත බැවින් එය කිසිදා තේරුම්ගෙන අවසන් කළ නොහැක. දැනුම සදාකල්හිම පහළ මට්ටම්වල සිට වඩාත් ඉහල මට්ටම් කරා වර්ධනය වේ. මාර්ක්ස්ට අනුව සදාචාරාත්මක හරි දේ සමාජයේ පදනම වෙතින් හටගත් දෙයක්. උදාහරණයක් හැටියට පුරාන ගොවි සමාජයේ ළමයි කසාද බදින්නේ කවුද කියලා දෙමව්පියෝ තීරණය කරන එක අහම්බයෙන් වුනු දෙයක් නොවෙයි. එතන තිබුනේ ගොවිපල උරුම වෙන්නේ කාටද කියන ප්‍රශ්නයයි. වර්තමාන සමාජයේ සමාජ සම්බන්ධතා වෙනස්. වර්තමානයේ ඔබට ඔබගේ සහකරු පාසලේ දී හෝ පල්ලියේ දී හෝ පන්සලේ, එහෙමත් නැත්නම් බස් හෝල්ට් එකක දී හම්බ වෙන්නත් පුළුවන්. ඊටත් වඩා මාර්ක්ස් අවධාරණය කළා, හරි මොකක්ද වැරදි මොකක්ද කියලා තීරණය කරන ධර්මයන් සකස් කරන්නේ ප්‍රධාන වශයෙන් සමාජයේ පාලක පන්තියයි කියලා. මොකද දන්නවාද, 'මේ තාක් කල් තිබුණු සියලුම සමාජ වල ඉතිහාසය යනු පන්ති අරගල වල ඉතිහාසයයි' කියලා මාර්ක්ස් කිව්වා. වෙනත් වචන වලින් කිව්වොත් ඉතිහාසය කියන්නේ ප්‍රධාන වශයෙන්ම, 'නිෂ්පාදන මාර්ග අයිති කරගන්නේ කවුද කියන එක පිලිබඳ ප්‍රස්නයක්'.
ඉතිහාසය වෙනස් කරන්න මිනිස්සුන්ගේ චින්තන සහ අදහස් උපකාර වෙන්නේ නැද්ද? ඔව් සහ නැහැ. සමාජයේ පදනම කෙරෙහි සමාජයේ උපරිව්‍යුහයේ තත්වයන්ට බලපෑමක් කළ හැකි බව මාර්ක්ස් වටහා ගත්තා. එත් සමාජයේ උපරිව්‍යුහයට වෙනමම ස්වාදීන ඉතිහාසයක් තියෙනෙවා කියලා ඔහු පිළිගත්තේ නැහැ. පුරාන යුගයේ වහල් සමාජයේ ඉඳලා අද කාර්මික සමාජය දක්වා ඓතිහාසික වර්ධනය ඇතිවීමට හේතුව මුලික වශයෙන්ම තීරණය වුනේ සමාජයේ පදනම තුල ඇතිවූ වෙනස්කම්.

මාර්ක්ස්වාදය -6
ඉතිහාසයේ හැම අවධියකදිම සමාජයේ කැපීපෙනෙන පන්ති දෙකක් අතර ගැටුමක් ඇතිවුනා. පුරාන යුගයේ වහල් සමාජයේ ගැටුම තිබුනේ නිදහස් පුරවැසියා සහ වහලා අතර, මධ්‍යයතන යුගයේ වැඩවසම් සමාජයේදී වැඩවසම් ස්වාමියා හා දාසයා අතර, ධනේශ්වර සමාජයේ ගැටුම තිබුනේ ධනවාදී පන්තියයි නිර්ධන පන්තියයි අතරේ. ඒ අනුව ගැටුම හටගත්තේ නිෂ්පාදන මාර්ග අයිති අයත්, නිෂ්පාදන මාර්ග නැති අයත් අතරෙයි. ඉහල පන්ති ස්වේච්චාවෙන් තම බලය ඇත හරින්නේ නැති නිසා වෙනසක් සිදුවෙන්නේ විප්ලවයකින් විතරයි. ධනවාදී සමාජයක සිට කොමියුනිස්ට් සමාජයක් බවට පෙරලීම ගැන මාර්ක්ස් විශේෂයෙන්ම උනන්දුවක් දැක්වුවා. ඔහු ධනවාදී නිෂ්පාදන ක්‍රමය ගැන සවිස්තරාත්මක විග්‍රහයක් කළා. එත් ඒගැන විමසා බලන්න කලින් අපි මිනිසාගේ ශ්‍රමය පිලිබඳ මාර්ක්ස්ගේ අදහස් ගැන කතාකල යුතයි. ශ්‍රමය ගැන ඊළඟ කොටසෙන් කියවමු.

මාර්ක්ස්වාදය-7
කොමියුනිස්ට් වාදියෙක් වෙන්න කලින් තරුණ මාර්ක්ස්, මිනිසා වැඩකරන කොට වෙන්නේ මොකක්ද කියලා අධ්‍යනය කළා. මේක හේගල් පවා විග්‍රහ කරුණක්. මිනිසා සහ ස්වභාව ධර්මයා අතරේ අන්‍යෝන්‍යය ක්‍රියාකාරී හෝ අපෝහක සම්බන්ධයක් තියෙනවා කියලා. මිනිසා ස්වභාව ධර්මය වෙනස් කරන කොට ඔහුත් වෙනස් වෙනවා. ඒක ටිකක් වෙනස් කරලා කියනවා නම්, මිනිසා වැඩ කරන කොට ඔහු ස්වභාව ධර්මය සමග අන්‍යෝන්‍යව ක්‍රියාකරල එය වෙනස් කරනවා. ඒ වාගේම මේ ක්‍රියාවලියේදී ස්වභාව ධර්මයත් මිනිසා සමග අන්‍යෝන්‍යව ක්‍රියාකරලා ඔහුගේ විඥ්ඥානය වෙනස් කරනවා. මේක ලියන කොට මට මතක් වුනා මීට වසර කීපයකට පෙර ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය උත්සවයේ තේමා පාඨයක්. වැස්ස බලාගෙන පොව සුදානම් කරන ගොවියෝ මෙහෙම දෙයක් කියනවා, 'පොවෙත් මොනවා හරි කරන්න ඕනේ අහස වැස්සට සුදානම් වෙන්න නම්'. රෝහණ සහෝදරයා කිව්වා වගේ මිනිසා කපන ගස් වෙනුවට අප විද්‍යානුකුලව පෘතුවිය වනාන්තර ගත කළේ නැත්නම් අපිට අහස වර්ෂාපතනය ගේන්නේ නැහැ. 'ඔයා කරන්නේ මොකක්ද මට කියන්න, එතකොට ඔයා කවුද කියලා මම ඔයාට කියන්නම්' කෙටියෙන් කියනවා නම් ඒක තමයි මාර්ක්ස්ගේ මතය. අපි වැඩ කරන ක්‍රමය අපේ විඥ්ඥානයට බලපානවා. ඒවාගේම අපේ විඥ්ඥානයත් බලපානවා අපි වැඩ කරන ක්‍රමයට. ඒක අත හා විඥ්ඥානය අතර පවතින අන්තර් ක්‍රියාකාරී සම්බන්ධයක් කියලා කියන්න පුළුවනි. මෙය මිනිසාගේ සම්භවය හා පරිනාමය හරහා හොඳින් විස්තර කල හැකිය. අත හා විඥ්ඥානය අතර පවතින අන්තර් ක්‍රියාකාරී සම්බන්ධයහි මුලාශ්‍රකය පරිනාමවාදයයි. මේ විදිහට අපි හිතන විදිහ අපි කරන රැකියාව හෝ කරන කාර්යට කිට්ටු ලෙස සම්බන්ධයි. ඉතින් එහෙනම් රැකියාවක් නැතිව ඉන්න ඒක හරිම දුක්මුසු ඇති. ඔව්, රැකියාවක් නැති පුද්ගලයා එක අතකින් හිස් පුද්ගලයෙක්. හේගල් මේ ගැන දැනගෙන හිටියා මුල ඉඳලම. හේගල් සහ මාර්ක්ස් යන දෙන්නම වැඩ කිරීම යනු ධනාත්මක දෙයක් හැටියටත් මනුෂත්වයේ නියම තත්ත්වය සමග ඉතාම කිට්ටුවෙන්ම සම්බන්ධ දෙයක් හැටියට සැලකුවා. ඉතින් ඒක කම්කරුවාටත් ධනාත්මක වෙන්න ඕනානේ. ඒක එහෙම වෙනවාද කියලා ඊළඟ කොටසින් කියන්නම්.




මාර්ක්ස්වාදය-8
හේගල් සහ මාර්ක්ස් යන දෙන්නම වැඩ කිරීම යනු ධනාත්මක දෙයක් හැටියටත් මනුෂත්වයේ නියම තත්ත්වය සමග ඉතාම කිට්ටුවෙන්ම සම්බන්ධ දෙයක් හැටියට සැලකුවා.
ඉතින් ඒක කම්කරුවාටත් ධනාත්මක වෙන්න ඕනානේ. ඒක එහෙම වෙනවාද?
ධනවාදී ක්‍රමය යටතේ කම්කරුවා සේවය කරන්නේ වෙනින් කෙනෙකුටයි. ඒ අනුව ඔහුගේ ශ්‍රමය ඔහුගෙන් පරිබාහිර වූ දෙයක්. නැත්නම් ඔහුට අයිති නැති දෙයක්.
ඉතින් කම්කරුවා ඔහුගේ වැඩට ආගන්තුකයෙක් වෙනවා. ඒ එක්කම තමාටමත් ආගන්තුකයෙක් වෙනවා. ඔහු තමාගේම සත්තාව වෙතින් ඈත් වෙනවා. තමාගේ නියම ස්වභාවයෙන්, යථාර්තයෙන්, තමාගේ සත්තෘෂ්ටියෙන් ඈත් වෙනවා. මාර්කස් කියනවා, කම්කරුවා අන්සතුවෙලා කියලා.
අපේ නැන්දා කෙනෙක් ෆැක්ටරියක වැඩකලා. අවුරුදු විස්සකටත් වැඩි කාලයක් ගිනිපෙට්ටි ඇහිරුවා. එයා කියනවා හැම දවසක් ගානෙම උදේට වැඩට යන එක එයාව මරන්න වගෙයි කියලා. ඉතින් එයාට තමාගේ වැඩ එච්චරම එපා වෙලානම්, එයාට තමන්වත් එපාවෙලා තියන්න ඇති. එයාට ගිනිපෙට්ටි නම් පෙන්නන්න බැරුව තිබුනේ.
පසුගිය දවස්වල කලාපේ කම්කරුවෝ තමන්ගේ අර්ථසාධක අරමුදල මංකොල්ලකන්න යන එකට විරුද්ධව කරපු අරගලයේදී එක කම්කරු සහෝදරියක් කිව්වා, තමන් අවුරුදු දහයකටත් වැඩිකාලයක් අර්ථසාදක අරමුදල හරහා මුදල් එකතු කරගත්තේ තමන්ගේ විවාහහේ දෑවැද්දට දෙන්නයි කියලා. එනිසා ඒක පැහැරගන්න කීයටවත් ඉඩදෙන්න බැහැ කියලා. කොපමණ දුක්මුසු ප්‍රකාශයක්ද!
මේ අනුව කම්කරුවා තමාගේ ශ්‍රමයත් එක්කම තමාගේ මුළු ජීවිතයත් ධනේශ්වර පන්තියට මාරු කරනවා.
1918 දී ඉපදිලා 1883 දී සමුගත් කාල් හෙන්රිච් මාර්කස් 2010 ලංකාවේ වෙළඳ කලාපේ සේවය කරපු කම්කරු සහෝදරී ගැන දැකල තිබුනේ එහෙමයි. ධනේශ්වර ක්‍රමය ඉහත සඳහන් විස්තර කරන කරුමය අනුව උත්තරීතර මිනිස් වර්ගයාව පිහිටුවලා තියෙන ස්ථානය පෙනෙනවාද? හෝමෝසේපියන් යන බුද්ධිමත් මිනිසා ගේ මිනිස් බුද්ධිය සදාකල්හිම පහළ මට්ටම්වල සිට වඩාත් ඉහල මට්ටම් කරා වර්ධනය වේ. මිනිස් මනස සතු හැකියාව අනන්තය කරා දිවෙන මාවතක තිබේ. මෙම මාවතේ ගමන් කල හැකි එකම සත්ව කොටස මිනිසා පමණයි.

මාර්ක්ස්වාදය-9
අපි මාර්ක්ස් ගැන කතා කරනකොට ඒක පටන් ගන්න ඕනේ මාර්ක්ස් ගේ කාලේ ඉඳලයි. පසුගිය ශතවර්ෂයේ මැද භාගයේ පැවතුනු සමාජීය තත්වයන් වෙතිනුයි. අයිස් මිදෙන තරම් සීතලේ නිෂ්පාදන ශාලාවේ පැය දොලොහක් වැඩ කරන්න කම්කරුවාට සිද්ධ උනා. වැටුප කොච්චර අඩුද කිව්වොත් පොඩි ළමයින්ට ගර්බනී කාන්තාවන්ට පවා වැඩ කරන්න සිද්ධ වුනා. මේක නිසා වචනයෙන් විස්තර කරන්න බැරි තරම් නරක සමාජ තත්වයක් හට ගත්තා. හුගාක් තැන්වල වැටුපෙන් කොටසක් ගෙව්වේ බාල මත් බීම වලින්. කාන්තාවන්ට වැටුප වෙනුවට ගණිකා වෘත්තියේ යෙදෙන්න සිද්ධ වුනා. එයාල සේවය සැපයුවේ නගරයේ වැදගත් කියන පුරවැසියන්ටයි.
ඒ කියන්නේ, වැඩකිරීම කම්කරුවා නින්දිත බර අදින තිරිසනෙක් බවට පත් කළා. ඔබට තරහ යන්න ඇති මේක අහලා. මාර්ක්ස්ටත් තරහ ගියා. ඉතින් මේක සිද්ධ වෙනකොට ධනේශ්වර පන්තියේ ළමයි උණුවතුර නාල ගත සතපාගෙන උණුසුම් සැප පහසු විසිත්ත කාමර වලට වෙලා වයලින් වාදනය කළා. නැත්නම් කොටස් හතරකින් යුතු සුඛෝපභෝගී අහර වේල සකස් වෙන තුරු පියානෝව වාදනය කළා. අශ්වයා පිටේ දීර්ඝ සංචාරයකින් පස්සේ වයලින් හා පියානෝව ගත සිත සනසන්න යෙදුනා. කොයිතරම් ඒක අසාධාරණද කියන එකට මාර්ක්ස් එකඟ උනාද කිව්වොත් එයා එංගල්ස් එක්ක 1848 දී කොමියුනිස්ට් ප්‍රකාශනය පලකළා. මේ ප්‍රකාශනයේ පළවෙනි වාක්‍යය මෙහෙමයි.
යුරෝපය පුරා අවතාරයක් හොල්මන් කරයි. ඒ කොමියුනිස්ට්වාදයේ අවතාරයයි.

මාර්ක්ස්වාදය-10
1848 දී කොමියුනිස්ට් ප්‍රකාශනය පලකලා. මේ ප්‍රකාශනයේ පළවෙනි වාක්‍යය මෙහෙමයි.
"යුරෝපය පුරා අවතාරයක් හොල්මන් කරයි. ඒ කොමියුනිස්ට්වාදයේ අවතාරයයි."
ඒක ඇහෙන කොට බයත් හිතෙනවා. ඔව්, ධනේශ්වර පන්තිය බය වුනා. මොකද දැන් නිර්ධන පන්තිය අරගල කරන්න පටන් ගත්තා. කොමියුනිස්ට් ප්‍රකාශනය කෙලවර වෙන්නේ කොහොමද කියලා බලමු. කොමියුනිස්ට් වාදීහු තමන්ගේ අදහස් හා අරමුණු හැංගීම හෙලා දකිති. තම අරමුණු ඉෂ්ඨ කරගත හැක්කේ පවතින සමාජ තත්ත්වයන් සියල්ලම බලහත්කාරයෙන් උගුළුවා දැමීමෙන් පමණක් බව ඔව්හු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. පාලක පන්තිය කොමියුනිස්ට් විප්ලවය ගැන අසා වෙව්ලුවාවේ. නිර්ධන පන්තියට නැතිවෙන්නට කිසිම දෙයක් නැත. දම්වැල් හැර ඔවුන්ට දිනාගැනීමට මුළු ලෝකයක්ම ඇත. සියලුම රටවල කම්කරුවනි එක්වව්! හුඟාක් මිනිස්සු ධනවාදීන් තවතවත් පොහොසත් කරන භාණ්ඩ හදනවා, තමන් අමානුෂික තත්වයන් යටතේ ජීවත් වන ගමන්. මාර්ක්ස් මේක හැදින්වුයේ සුරාකෑම කියලා. සුරාකෑම කියන එක අපි විස්තර කරමු. කම්කරුවෙක් යම් භාණ්ඩයක් නිපදවනවා නම් ඒ භාණ්ඩයට එක්තරා හුවමාරු අගයක් තියෙනවා. කම්කරුවාගේ වැටුපයි නිෂ්පාදන වියදනුයි ඒ හුවමාරු අගයෙන් අඩු කළොත්, හැමතිසේම එක්තරා මුදලක් ඉතුරු වෙනවා. මේ මුදලටයි මාර්ක්ස් ලාභය කියලා කිව්වේ. වෙනත් විධියකින් කියනවා නම් ධනවාදියා සාක්කුවේ දාගන්නේ ඇත්තටම කම්කරුවා නිර්මාණය කරපු අගයකුයි. අන්න එකට තමයි සුරාකෑම කියන්නේ. ඉතින් ධනවාදියා තම ලාභයෙන් කොටසක් අලුත් ප්‍රාග්ධනයක යොදවනවා. උදාහරණ හැටියට, තමාගේ භාණ්ඩය තවත් අඩු වියදමකින් නිපදවලා අනාගතයේදී ලාභය තවත් වැඩිකරගනීමේ චේතනාවෙන් ඒ භාණ්ඩ නිපදවන වැඩපොළ නවීකරණය කරනවා. ඒක ටිකක් තාර්කිකයි වගේ නේද. ඔව් ඒක තාර්කිකයි වගේ පේනවා. එත් මේ කරුණේ වගේම අනෙක් කරුණු වලදීත් ධනවාදියා හිතන හැටියට නොවෙයි වැඩ සිද්ධ වෙන්නේ. ඇයි එහෙම කියන්නේ, ධනවාදී නිෂ්පාදන ක්‍රමයේ නිසගවම අන්තර්ගතවූ ප්‍රතිවිරුධතා තියෙනවා කියලා මාර්ක්ස් කිව්වා. ධනවාදය කියන්නේ ස්වයන් විනාශක ආර්ථික ක්‍රමයක්. ඔව්. ධනවාදී ක්‍රමයේම අන්තර්ගත දෙයක් තමයි. එය තමාගේම විනාශය කරා වන බව. එහෙම බැලුවහම ධනවාදය ප්‍රගතිශීලීයි. ඇයි ඒක කොමියුනිස්ට්වාදයට යන මග විවෘත කරනවා.

මාර්ක්ස්වාදය -11
ධනවාදය ස්වයන් විනාශයට යන බව බවට උදාහරණ දෙන්න පුලුවන්ද. ඔව්, ධනවාදියාට විශාල ධන අතිරික්තකයක් තියෙනවා. ඔහු ඉන් කොටසක් කම්හල් හෝ ඔහුගේ ව්‍යාපාර නවීකරණය කරන්න යොදවනවා.
දැන් කාලේ නම් හදිස්සියේ රටෙන් පැනල යන්න සිද්ධ උනොත් කියලා ස්විස් බැංකුවලත් එයින් කොටසක් දාගන්නවා. එත් ඔහු වයලීන් පාඩම් වලටත් සල්ලි වියදම් කරනවා. ඊටත් එයාගේ බිරිඳ සුඛෝපභෝගී ජීවන ක්‍රමයක් පුරුදු වෙලයි ඉන්නේ. කොම්රඩ් විමල් වීරවංසගේ බිරිඳ වගේද. ඒක අහන්න දෙයක් නැහැ.
ධනවාදියා අලුත් යන්ත්රු ගන්නවා. එතකොට එතරම් සේවකයෝ ඕනා වෙන්නේ නැහැ. ඔහු මෙය කරන්නේ තමන්ගේ තරඟකාරී බලය වැඩිකරන්නයි. ඒත් මේ විධියට හිතන්නේ ඔහු විතරයි.
එකේ තේරුම සමස්ත වශයෙන් නිෂ්පාධනය නොකඩවා කාර්යක්ෂම වෙනවා. කම්හල් එන්න එන්නම ලොකු වෙනවා. කම්හල් පැටව් ගහනවා. සල්ලි පැටව් පරපුරවල් ගණනාවකට ඇතිවෙන්න ස්විස් බැංකු වලට දානවා.
කම්කරුවෝ ක්‍රමයෙන් අඩු කිරීම ප්‍රධාන කටයුත්ත වෙනවා. ඒ කියන්නේ රක්ෂා නැතිකම එන්න එන්නම වැඩිවෙනවා. මේ නිසා සමාජ ප්‍රශ්න වැඩිවෙනවා. මේ වගේ අර්බුද තමයි ධනවාදය තම විනාශය බවට ගමන් කරන බවට ඇති සංඥා.
කම්හල් හිමියෙක් වියදමට හරියන්න ආදායමක් ගන්න බැරිවෙනකොට, නිෂ්පාදනය කරගෙන යන්න අමුද්‍රව්‍යය මිලදී ගන්න බැරිවෙනකොට, බංකොලොත් වෙන්න යනවා. එතකොට වියදම අඩු කරන්න මොකද කරන්නේ, කම්කරුවන්ගේ වැටුප් අඩු කරනවා. අනෙකුත් යන්තමින් හෝ දීල තියෙන දෙයක් තියෙනවානම් කපලා දානවා. එහෙමත් නැත්නම් වැටුප් වර්ධක නවත්වලා දානවා. එකෙන් වෙන්නේ කම්කරුවා කොයිතරම් දුප්පත් බවට පත්වෙනවාද කියනවානම් එයාලට වෙනදට මිලදී ගත්ත සුළු දේවල් ටිකවත් මිලදී ගන්න බැරිවෙනවා. එකට අපි කියන්නේ මිලදී ගැනීමේ ශක්තිය හීන වෙනවා කියල. දැන් කාලේ ධනවාදී පාලක පන්තිය පාලනය ගෙනියන්න නිෂ්පාදන මාර්ග අවහිර වෙලා ආණ්ඩුවට මුදල් නැතිවෙන කොට කරන්නෙත් එදා මාර්ක්ස් කිව්ව ඔය ටිකම තමා. ඉතින් දැන්නම් අපි ඇත්තටම ජීවත් වන්නේ විෂම චක්‍රයකයි. ඒකට මේ දවස්වල ලංකාවේ අපි කියන්නේ නම් ආශ්චර්ය කියලා. ධනවාදී පුද්ගලික දේපල ක්‍රයමයට කණකොකා හඬනවා කියලා මාර්කස් කිව්වා.

මාර්ක්ස්වාදය -12
ධනවාදී පුද්ගලික දේපල ක්‍රමයට කණකොකා හඬනවා කියලා මාර්කස් කිව්වා.
ඊළඟට ජනතාව විප්ලවකාරී අවස්ථාවක් කරා යනවා. පුද්ගලික දේපල ක්‍රමයට කණකොකා හඬලන විට දිග කතාවල් කෙටියෙන් කියනවා නම් අවසානෙදි නිර්ධන පන්තිය නැගී සිටිනවා. ලෝකයේ ඒ ජනතාව විප්ලවකාරී අවස්ථාව කරා ගිය රුසියානු විප්ලවය පළමු ලෝක නිර්ධන පන්තියේ නැගී සිටීමයි. මෙවැනි නැගිටීමකට පස්සේ කෙටි කාලයකට අපිට පන්ති සමාජයක් ලැබෙනවා. එතකොට නිර්ධන පන්තිය විසින් ධනේශ්වර පන්තිය බලයෙන් යටත් කරගෙන ඉන්නවා. මාර්ක්ස් මේකට කියන්නේ නිර්ධන පන්ති ආක්ඥාදායකත්වය කියලා. එත් යම් සංක්‍රාන්ති කාලයකට පස්සේ, එහෙම නැත්නම් යම් පරිවර්තන යුගයකට පස්සේ මේ නිර්ධන පන්තිය ආක්ඥාදායකය වෙනුවට පන්ති රහිත සමාජයක් ඇතිකරවනවා. එතකොට නිෂ්පාදන මාර්ග සියලු දෙනාගේ අයිතියට යනවා. ඒ කියන්නේ ජනතාවගේ අයිතියට. මේ අන්දමේ සමාජයක ප්‍රතිපත්තිය නම් "හැම කෙනාගෙන්ම ඔහුගේ හැකියාවට අනුව සහ හැම කෙනාටම ඔහුගේ අවශ්‍යතාවය අනුව" යනුයි. ඊටත් වඩා දැන් ශ්‍රමය අයිති කම්කරුවන්ටයි. ධනවාදය යටතේ පැවති ශ්‍රමය දැන් අන්සතු වීම නවතිනවා. පන්ති සමාජය පැරදවිය හැකි එකම මාර්ගය විප්ලවය බව මාර්ක්ස් ප්‍රකාශ කළා.
මාර්ක්ස්වාදය මගින් කරන ලද මගපෙන්වීම අධිරාජ්‍යවාදීන්ගෙන් හා ධනේශ්වර පන්තියෙන් පීඩා විඳින රටවල්වල ජනතාවට එම ක්‍රමයට විරුද්ධව නැගීසිටීමට මෙන්ම රුසියානු විප්ලවයටද ඉතාමත් අත්‍යාවශ්‍ය මගපෙන්වීමක් කළා. එදා මාර්ක්ස් විසින් ලෝක නිර්ධන පන්තියට දමාදුන්නේ ශක්තිමත් අත්තිවාරමක් බව ලෙනින් ප්‍රකාශ කළා. මේ දක්වා දර්ශනවාදීන් කළේ ලෝකය විවිධ ක්‍රම වලට අර්ථ කථනය කිරීමයි. දැන් අවශ්‍ය වෙන්නේ එය වෙනස් කිරීමයි කියා කාල් මාර්ක්ස් ප්‍රකාශ කළා. මේ වචන ටික දර්ශනවාදය පිලිබඳ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරනවා මෙන්ම ලෝකය වෙනස් කිරීමේ කාර්යය ප්‍රායෝගිකව කිරීමෙන් ලෙනින් රුසියන් විප්ලවය හරහා ලෝකයේ පළමු කොමියුනිස්ට් විප්ලවය මගින් ලෝක ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුවහන් කරනවා.
එය ලෙනින්ගේ දර්ශනයත් සමග බද්ධ වීමෙන් බිහිවූ මාර්ක්ස් -ලෙනින් වාදය, පෙරදිග යුරෝපය, ආසියාව හා අප්‍රිකාව යන රටවලට ඉතා විශාල බලපෑමක් කළා. අද එම දර්ශනය ලෝකයේ අධිරාජ්‍යවාදයෙන්, ධනවාදයෙන් සහ නවලිබරල්වාදයෙන් පීඩාවට පත්වී සිටින ජනතාවට තමන්ගේම පන්තියට අයිති බලයක් ගොඩනගා ගැනීමට මග පෙන්වන ප්‍රබල ආලෝක ධාරාවක්ය.

3 comments:

  1. සංකල්ප ගොඩනගන විදිය ක්‍රමවත්.ස්කිප් වුනත් ඒක වෙන්නෙ හොදකට.ඒ අඩුව පුරවන්න නිරායාසයෙන්ම හැදැරිමකට යා යුතු බව නොකියා කියන තරමේ හොදක්.තවත් ලියන්න..

    ReplyDelete
  2. සහෝදරයා පළමුවෙන්ම ඔබට මාගේ ස්තූතිය පුදකර සිටිනවා .....සමාජය වෙනස් විය යුතුය ...මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුය ....ධනපති පන්තියේ සූරාකෑමට ඉඩ නොදිය යුතුය ...සමානත්වයක් ඇතිකළ යුතුය .....එය නිකම්ම නිකම් ලබා ගැනීමට නොහැක ...එසේනම් එය දිනාගත යුතුය ....එයට ධනපති පන්තිය ඉඩ නොදිය හැක .....එයට අරගල කළ යුතුය ......
    අරගලයකින් tora ජයග්‍රහණයක් නොමැත ....

    ReplyDelete
  3. සහෝදරයා පළමුවෙන්ම ඔබට මාගේ ස්තූතිය පුදකර සිටිනවා .....සමාජය වෙනස් විය යුතුය ...මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුය ....ධනපති පන්තියේ සූරාකෑමට ඉඩ නොදිය යුතුය ...සමානත්වයක් ඇතිකළ යුතුය .....එය නිකම්ම නිකම් ලබා ගැනීමට නොහැක ...එසේනම් එය දිනාගත යුතුය ....එයට ධනපති පන්තිය ඉඩ නොදිය හැක .....එයට අරගල කළ යුතුය ......
    අරගලයකින් tora ජයග්‍රහණයක් නොමැත ....

    ReplyDelete